Event

Delete කරන්න එපා සහ හෑෂ්ටැග් පරපුර විසින් 2022 නොවැම්බර් 28 දින “Prathya – ப்ரத்ய – ප්‍රත්‍ය” දියත් කරයි 

March 16, 2023
- nodelete

  • හෑෂ් ටැග් පරපුර සහ Delete කරන්න එපා විසින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් වූවන් සඳහා ත්‍රෛභාෂා උපකාරක සේවා පද්ධතියක් “ප්‍රත්‍ය” නමින් දියත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය ඔස්සේ සිදුවන ප්‍රචණ්ඩත්වය නිසා පීඩාවට පත් වූ කාන්තාවන්, ගැහැණු ළමයින් සහ සංක්‍රාන්ති සමජභාවී සහ කුවියර් පුද්ගලයින් වෙනුවෙන් හෑෂ්ටැග් පරපුර සහ Delete කරන්න එපා විසින් පසුගිය වසර කිහිපය තුළ සිදුකරන ලද මෙහෙවර මත පදනම්ව එවැනි පුද්ගලයන් වෙනුවෙන්ම වූ ත්‍රෛභාෂා උපකාරක සේවා පද්ධතියක් ලෙස “ප්‍රත්‍ය” දියත් කර ඇත. මෙම පද්ධතියේ ඇතුළත් වන්නේ:

  • ත්‍රෛභාෂා ක්ෂණික ඇමතුම් සේවාව: අන්තර්ජාලය ඔස්සේ සිදුවන ප්‍රචණ්ඩත්වය නිසා පීඩාවට පත් පුද්ගලයින්හට සහාය ලබාදීම වෙනුවෙන් මෙම  ක්ෂණික ඇමතුම් සේවාව ක්‍රියාත්මක වේ. ඒ හරහා, තාක්ෂණික සහාය මෙන්ම නීති ආධාර සහ මනෝ සමාජීය උපකාරක සේවා වෙත යොමු කිරීම් සිදුකරනු ලබයි. කඩිනම් සහාය අවශ්‍ය පුද්ගලයින්හට 0777 955 900 “ප්‍රත්‍ය” ක්ෂණික ඇමතුම් අංකය අමතා මෙම සේවාවන් ලබාගත හැකිය.
  • Delete කරන්න එපා හි ත්‍රෛභාෂා ප්‍රලේඛන මෙවලම (https://deletenothing.org/share-your-story/): මෙම මෙවලම හරහා ලංකාව පුරා සිටින අන්තර්ජාල ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් පුද්ගලයන්ගේ අත්දැකීම් සහ සාක්ෂි ක්‍රමානුකූලව ලේඛනගත කිරීම සහ වාර්තා කිරීම සිදුකෙරේ. මේ හා සම්බන්ධව ඇති නීති රීති, මානව හිමිකම්, සේවා සපයන්නන් මෙන්ම අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතා කිරීම යනාදී මාතෘකා පිළිබඳ ත්‍රෛභාෂාමය තොරතුරු ද ‘Delete කරන්න එපා’ හි අඩංගු වේ.
  • ඔන්ලයින් සහ ඕෆ්ලයින් ත්‍රෛභාෂාමය ප්‍රචාරණ සහ සම්බන්ධවීමේ (outreach) වැඩසටහන: අන්තර්ජාලය ඔස්සේ සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා මෙන්ම “ප්‍රත්‍ය” විසින් සපයනු ලබන අදාළ උපකාරක සේවා පද්ධතිය පිළිබඳව දැනුවත් කිරීම මේ හරහා සිදුවේ. ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් වෙත පර්යේෂණමය සොයාගැනීම් සහ සාක්ෂි මත පදනම් වූ උපදේශන නිර්දේශ ලබා දීමටද Delete කරන්න එපා සහ හෑෂ්ටැග් පරපුර බලාපොරොත්තු වේ.

කාන්තාවන්, ගැහැණු ළමයින් මෙන්ම ක්වියර් සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් වැඩි වැඩියෙන් අන්තර්ජාලයට ප්‍රවේශ වීමත් සමඟ අන්තර්ජාලය හරහා ඔවුන් වෙත එල්ල වන ප්‍රචණ්ඩත්වයේ මට්ටම ඒ හා සමානුපාතිකව වැඩි වී ඇති බව ගෝලීය ප්‍රවණතා පෙන්නුම් කරයි (Association for Progressive Communications, 2018). මෙවැනි  ප්‍රචණ්ඩකාරී ක්‍රියා බොහෝ විට අපවාදාත්මක අදහස් දැක්වීම්, අනවශ්‍ය වූ ලිංගික වශයෙන් අසභ්‍ය හෝ අවමන් සහගත රූප දර්ශන සහ ලිංගික අල්ලස් (sextortion) එනම් ශාරීරිකව එකට එක්වීමේ අන්තර්ගතයන් මුදාහරින බවට තර්ජනය කරමින් ‘බ්ලැක්මේල්’ කිරීම වැනි විවිධාකාර ස්වරූපයන් ගනී. LGBTQIA+ ප්‍රජාවේ සාමාජිකයින් ද සමභීතිකාව සහ සංක්‍රාන්තිභීතිකාවට ගොදුරු වීමේ අවදානමට මුහුණ දේ. එබැවින් මෙවැනි සිදුවීම වලට මුහුණ දීම අවම කර ගැනීමට ඔවුන්ගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් වල නියැලීම සීමා කිරීමට පෙළඹිය හැකිය (Deshapriya et al, 2017; Ghosha, Groundviews & Hashtag Generation, 2019).

අන්තර්ජාලය ඔස්සේ සිදුවන ප්‍රචණ්ඩත්වය නිසා පීඩාවට පත්වන පුද්ගලයින්හට බොහෝ විට න්‍යායාත්මකව සහන සැලසිය යුතු නීතිමය සහ සමාජයීය  පද්ධතිවලින් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබේ. “පොලිස් පැමිණිල්ලක් ගොනු කිරීමට යාම පවා බොහෝ දෙනෙකුට ප්‍රතිකම්පනය retraumatising ගෙනදෙන අත්දැකීමක් විය හැකිය,” හෑෂ්ටැග් පරපුරේ සමාජ මාධ්‍ය විශේෂඥ සරීතා ඉරුගල්බණ්ඩාර පැහැදිලි කළේය. “පොලිස් නිලධාරීන් සහ සමහර නීතීඥයින් පවා, අවාසනාවන්ත ලෙස, අගතියට පත් වූවන්ගේ දුක්ඛිත තත්ත්වය ගැන නිසි සැලකිල්ලක් නොදක්වන බව සහ සංවේදී නොවන බව වාර්තා වේ. අන්තර්ජාලය ඔස්සේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ කතා කිරීමේදී පොලිසියේ අත්දැකීම් අවම වනවා පමණක් නොව බොහෝ විට පවතින නීති පිළිබඳව නිසි දැනුමක්ද ඔවුන් ලබා නොමැත. මේ හේතුන් නිසා සයිබර් අපරාධ ඒකකයේ වැඩ කටයුතු අවහිර වී ඇත.

හෑෂ්ටැග් පරපුරෙහි සමාජ මාධ්‍ය විශ්ලේෂණ ප්‍රධානී ප්‍රිහේෂ් රත්නායක පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ සිදුවන ප්‍රචණ්ඩත්ව ක්‍රියා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සමාගම් කටයුතු කරන ආකාරය ද අත්තනෝමතික බව පෙනී යන බවයි. “ප්‍රජා මාර්ගෝපදේශ සහ මධ්‍යස්ථතා ක්‍රියාවලීන් ලෙස සැළකෙන දැනට පවතින යාන්ත්‍රණයන්, න්‍යායානුකුලව, සමාජීය පුමිතිරියාව (gender) මත පදනම් වන අනතුරුවලින් මිනිසුන් ආරක්ෂා කළ යුතුය. මෙය සාමාන්‍යයෙන් එසේ සිදු නොවේ. අගතියට පත් පාර්ශ්වයන්හට සමාජ මාධ්‍ය හෝ අදාළ වේදිකාවේ අඩංගු හානිකාරී අන්තර්ගතයන් පිළිබඳව එවායන්හි බලධාරීන්ට වාර්තා කිරීමට අමතරව වෙනත් පිළියමක් නොමැති අතර එම බලධාරීන් විසින් එම අන්තර්ගතයන් ඔවුන්ගේ මාර්ගෝපදේශයන්ට පටහැනි නොබව බවට අවධාරනය කරයි,” ඔහු පැවසීය. 

මෙවැනි පද්ධතිමය (systemic) බාධක හැරුණු විට, අන්තර්ජාලය ඔස්සේ සිදුවන ප්‍රචණ්ඩත්ව ක්‍රියා නිසා පීඩාවට පත් වූ පුද්ගලයන් තම අත්දැකීම් සමාජයට ඉදිරිපත් කල පසු විවිධ ආයතන, ප්‍රජාවන් සහ පවුලේ සාමාජිකයන්ගෙන් පවා ඔවුන් අවමානයට ලක්විය හැකි අතර වින්දිතයන් හට වරද පැටවීමේ අවදානමක් ද ඇත. සෘණාත්මක සමාජීය, චිත්තවේගීය, සහ/හෝ ශාරීරික ප්‍රතිවිපාක අහිතකර ලෙස ඔවුනට බලපෑ හැකි අතර එමනිසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් පැකිලේ (Perera & Ibrahim, 2021).

පුද්ගලයන් ක්‍රියාමාර්ග ගැනීමට කැමැත්තෙන් සිටින විට දී පවා, ඔවුන් සඳහා පවතින විකල්ප සීමිත වේ. යම්හේතුවක් නිසා ඔවුන් පොලිසිය හෝ අනෙකුත් නීති පද්ධති සම්බන්ධ කර ගැනීමට අකමැති නම් ඔවුනට පවතින විකල්ප අවමය. “අපි විවිධ ප්‍රජාවන් හා සම්බන්ධ වන විට, ඔවුන්, විශේෂයෙන් LGBTIQ + ප්‍රජාව, නිරන්තරයෙන් මතු කළ කනස්සල්ලක් වූයේ පොලිස් පැමිණිල්ලක් ගොනු කිරීමට යාම ඔවුන්ට සහනයක් ලැබෙනවාට වඩා තවදුරටත් ඔවුන් අපහසුතාවයට මෙන්ම අපරාධීකරනයට criminalising ලක්වීමේ හේතුවක් විය හැකි බවයි,” යනුවෙන් Delete කරන්න එපා හි සම-නිර්මාතෘවරියක වන සචිනි පෙරේරා පැවසුවාය.  බොහෝ විට මිනිසුන්ට අවශ්‍ය මූලිකම කාරණය වන්නේ යම් අයෙකු විසින් ඔවුන්ගේ අත්දැකීමට සවන් දී ඔවුන්ට සහාය ලබාදීම බවත්, “ප්‍රත්‍ය” හි මූලික සහ ප්‍රධානම අරමුණු එය බවත් ඇය පැවසුවාය.

අන්තර්ජාලය ඔස්සේ සිදුවන ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවන පුද්ගලයන්ට, රැකවරණය සහ ප්‍රජාව ආශ්‍රිත ආචාර ධර්ම මත ගොඩනැගුණු ඔවුන්ගේ අවශ්‍යතා සහ ආශාවන් කේන්ද්‍ර කර ගනිමින් සහාය ලබා දෙන ආරක්ෂිත අවකාශයක් සැපයීමට “ප්‍රත්‍ය” කටයුතු කරයි. “ප්‍රත්‍ය” මුලික කරගත් ආධාරක පද්ධතිය මානව හිමිකම් වලට අනුකුලව සහ අන්තර්ජාලයේ ස්ත්‍රීවාදී මූලධර්ම එනම් the Feminist Principles of The Internet මත පදනම් ව ක්‍රියාත්මක කෙරෙනු ඇත. මෙම මූලධර්ම හරහා තොරතුරු ලබාගැනීම, සංවිධාන ගොඩනැගීම, නිර්මාණාත්මක අරමුණු මෙන්ම විනෝදාස්වාදය සහ ක්‍රීඩා සඳහා අන්තර්ජාලයට ප්‍රවේශ වීමට කාන්තාවන්, ගැහැණු ළමයින් සහ LGBTQIA+ පුද්ගලයින්ට ඇති විශ්වීය අයිතිය සහ සමානත්මතාව අවධාරණය කරයි. මෙහිදී ඔවුන්ගේ පෞද්ගලිකත්වය, නියෝජිතායතනය, නිර්නාමිකභාවය සහ ප්‍රචණ්ඩත්වයට ලක්නොවීම සඳහා ඔවුන්ට ඇති අයිතිය වෙනස් නොකරමින් මෙය සිදු කෙරෙනු ඇත.

“ප්‍රත්‍ය” නිල වශයෙන් 2022 නොවැම්බර් 28 වැනි සඳුදා දින කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පිහිටි ලැවෙන්ඩර් ශාලාවේදී ආරම්භ විය. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය ඔස්සේ සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාකරන විවිධ පාර්ශ්වකරුවන් මෙන්ම මාධ්‍ය ආයතන රැසක සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සෘජු ආධාර වැඩසටහන් (DAP) ප්‍රදානයක් හරහා “ප්‍රත්‍ය” වෙත මූලික  සහාය ලබාදේ. DAP ප්‍රදානයන් හරහා  ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සහ දේශීය ප්‍රජාවන් අතර සම්බන්ධතාවයන් ගොඩනගන අතර, එය  ප්‍රතිසාධනය සඳහා වූ ඕස්ට්‍රේලියානු රජයේ සංවර්ධන ප්‍රතිපත්ති හවුල්කාරිත්වය; එනම් ඕස්ට්‍රේලියාවේ COVID-19 සංවර්ධන ප්‍රතිචාර (Australia’s COVID-19 Development Response) වැඩසටහනේ ප්‍රමුඛතාවලට අනුකූල වේ.

හෑෂ්ටැග් පරපුර යනු තරුණ ප්‍රජාවගේ අර්ථවත් සිවිල් සහ දේශපාලන සහභාගීත්වය වෙනුවෙන් පෙනී සිටින තාක්ෂණය අතින් අනූන, සමාජ සවිඥානික තරුණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් මෙහෙයවනු ලබන සහ පවත්වාගෙන යන ආයතනයකි.
Delete කරන්න එපා හි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ තාක්‍ෂණය ඔස්සේ සිදුවන සමාජීය පුමිතිරියාව පදනම් කරගත් ප්‍රචණ්ඩත්ව සිදුවීම් ලේඛනගත කිරීමයි.  විශේෂයෙන් මෙහිදී ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයින්, කාන්තාවන් මෙන්ම ක්වියර් සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ගේ අත්දැකීම් ලේඛනගත කරන නමුත් එය ඔවුන්ගේ අත්දැකීම් වලට පමණක් සීමා නොවේ. එවැනි අත්දැකීම් වලට මුහුණදෙන අයට සහාය වීම සඳහා අපි තොරතුරු ද ලබා දෙන්නෙමු.

යොමුව

You may also like